Friday, August 28, 2009

ෂර්ලොක් හෝම්ස් ටත් ලංකාවෙදි කෙල වෙයි.


මේක නම් මම ටිකක් අමුතු විදියකට ලියන්න යන්නේ, මොකද කලින් පාර වගේ නෙමෙයි මේ පාර මට හෙඩිම තමා ඉස්සෙල්ල මීටර් උනේ. ඉතින් මම මතෘකාව දගෙනම දෙයියනේ කියලා ලියන්න ගත්තා.

ඉස්සර නම් ඉතින් ලංකාව ආගන්තුක සත්කාරයට මුලු ලෝකෙම ප්‍රසිද්ධයිලුනේ, හැබැයි ඉතින් ලොකු මල්ලි දන්න කාලේ ඉඳන් නම් ඔහොම කතාවක් නෙමෙයි අහන්න ලැබුනේ.
ලෝක අණ්ඩපාලයෝ ඉන්න රටක් විදියට තම්මයි දැන් කවුරුත් පිළිගන්නේ ( අපේ රටට අපහාස කරන්න කිව්වා නෙමෙයි, සමාජයේ පොදු මතය කිව්වේ, හැබැයි ඉතින් පිටකොටුව, පන්චිකාවත්ත එහෙම මතක් වෙනකොට වැරදි කියන්නත් බෑ ඒක, ළඟින් ගියත් ඩතක් නෑ ).හැබැයි ඉතින් මේකත් ඒ වගේම ලංකාවේ කෙනෙක් හීන් නූලෙන් දීපු ගේමක්, එහෙමත් නැත්නම් ලංකාවට ආපු ෂර්ලොක් හෝල්ම්ස් ට මෙහේ කෙනෙක් නිසා ඇඩ්‍රස් නැති උනා කිව්වත් හරි. නමුත් ටිකක් පරණ සිද්ධියක්. ( හැරී පෝටර් හිට් වෙලා ඉන්න මේ කාලේ මේ වයසක මනුස්සයෙක් ගැන කතා කරන්න ලොකු මල්ලිට පිස්සුද කියලා හිතනවද දන්නේ නෑ )
මේකයි සිද්ධිය,
කාටවත් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ෂර්ලොක් හෝල්ම්ස් කථා සෙට් එක ගැන. අකුරු කියවන්න දන්න ගොඩක් අය අතර ජනප්‍රිය පොත් ටිකක්, ලංකාවේ විතරක් නෙමෙයි මුලු ලෝකෙම වගේ.
සර් ආතර් කොනන් ඩොයිල් 1887 මවපු චරිතයක් තමා හෝල්ම්ස් කියන්නේ. මවපු චරිතයක් උනාට ලේඛකයාගේ හැකියාව නිසා මේ චරිතයට ජීවමාන බවක් ආරූඪ උනා.
වෙනත් ප්‍රබන්ධ කථා වල නැති විදියට මේ රහස් පරීක්ෂක හෝල්ම්ස් ගැටළු නිරාකරණය කරන නිසා මේ කථා මාලාව පාඨක සිත් වශී කරගත්තා කිව්වොත් ලොකු මල්ලි වැරදි නෑ. හැරී පෝටර් තරම්ම නොවූවත් ෂර්ලොක් හෝල්ම්ස් ලෝකය පුරා සෑහෙන්න ජනප්‍රිය උන පොත් මාලාවක්.
( හැබැයි මේ චරිතය බිහි වෙන කාලයේ ත් අද වගේ රූපවාහිනී, පරිගණක සහ අන්තර්ජාලය තිබුනා නම් මේ කතා මාලාවේ අහලකටවත් පෝටර් මල්ලිට එන්න බැරි වෙනවා, ඒ කියන්නේ රෝලින් නැන්දට රෝල් වෙලා වත් ඩොයිල් මහත්තයාගෙ ළගට එන්න බැරි වෙනවා. අමුතුවෙන් ලොකුවට විස්තර කරන්න ඕනේ නෑනේ, මෙතන ඩොයිල් මහත්තයාගේ හෙණයට හිටිලා තියෙන්නේ ඒ කාලයේ තිබුන සමාජ තත්වයත්, නොදියුණු තාක්ෂණයත් කියලා. 18 වෙනි සියවසේ අග තිබුන තත්වයත් ( ඒ කාලේ අපේ ලංකාවේ බහුතරයකට කියවන්න වත් බෑ ),දැන් අපි ඉන්න ලෝකයේ තත්වයත් අතර තියෙන්නේ විශාල වෙනසක්. ඉතින් ඔයාලටත් තේරෙනවා හොඳ පොතකට උනත් මිනිස්සු අතරට යන්න අමාරුයි ඒ කාලයේ. )
ඩොයිල් මහත්තයා 1887දි හදපු මේ චරිතය 1893දි ඩොයිල් මහත්තයාම මරලා දාන තුරු ම ලන්ඩන් නගරයේ කේන්ද්‍ර කර ගනිමින් මුලු ලෝකයේම ජීවත් උනා. සූක්ෂම ආකාරයට මෙවන් කතා ගොතනකොට තමාගේ ගතත් සිතත් ඉතා විඩාවට පත් වෙනවා, ඒ නිසා ඉන් මෙදීමටත් ; මේ සඳහා කැප කරන කාලය මීටත් වඩා ප්‍රයෝජනවත් දෙයකට යොදවන්න උවමනා බවත් නිදහසට කරුණු ලෙස දක්වමින් තමා ඩොයිල් මහත්තයා මේ කෙටි කතා 56කිනුත් දීර්ඝ කතා 4කිනුත් යුතු හෝල්ම්ස්ගේ චරිත ඝාතනය සිදු කලේ.

මම කියන කාරණය හරියටම අවබෝධ කරගන්න ලේසි වෙන්න තමා මම ඔය ටික කිව්වේ.

ඔයාලා කාටවත් මතකද හෝල්ම්ස් ඉස්සෙල්ලා ම ලංකාවට ආපු හැටි එහෙම.
ලොකු මල්ලිට නම් ලාවට මතකයි, ඒ කියන්නේ මල්ලි බට්ටා කාලයේ හෙවත් 4 පංතියේ ඉන්න කාලේ තමා මල්ලිට මතක හැටියට ෂර්ලොක් හෝල්ම්ස් පොතක් සිංහලෙන් ආවේ. මනෝජ් රත්නායක තමා මල්ලිට මතක විදියට මුලින්ම ෂර්ලොක් හෝල්ම්ස් පොතක් පරිවර්තනය කලේ මල්පියලි ප්‍රකාශකයෝ යටතේ. පිටු 80යි, හෝල්ම්ස්ගේ වික්‍රම 10යි, රුපියල් 40යි. හිතාගන්න පුලුවම්නේ කොච්චර කෙටි කරලද කතා ටික පොතට එකතු කරලා තියෙන්නේ කියලා. ඒවා පොතුත් නෙමෙයි පොත් පිංචවල්. කොහොම හරි එයා පළ කරපු හෝල්ම්ස්ගේ පොත් පිංචවල් ටික ඒ කාලේ ටිකක් හිට් උනා. බිස්නස් එක ඉවෙන් වගේ තේරුණු ගුණසේන සමාගමත් කතා කීපයක් දාල තරමක් ලොකු පොතක් නිකුත් කලත් ගෙවන මිලේ හැටියට ඒකේ රසවත් භාවයක් නැති උන නිසා එච්චර හිට් උනේ නෑ. මේවාට අමතරව තව තව කට්ටිය ෂර්ලොක් හෝල්ම්ස්ගේ පොත් පරිවර්තනය කලත් ඒවාත් අසාර්ථක උනා.
අන්තිමේදි අසංෂිප්ත පරිවර්තනයක් විදියට හෝල්ම්ස්ගේ කතා ඉදිරිපත් කරපු චන්දන මෙන්ඩිස් වැඩේ අල්ලගත්තා.වැඩේ අල්ලගත්ත තරම කියනවා නම් හෝල්ම්ස්ගේ කතා හැටම මෙයා පරිවර්තනය කලා ( මුල් කතා වල කතා රසයට අවම හානියක් වෙන විදියට පරිවර්තනය කරපු නිසයි මේ පරිවර්තක මෙච්චර සාර්ථක උනේ ).
නමුත් ඩොයිල් මහත්තයා මවපු හෝල්ම්ස්ගේ චරිතය සැබෑවක් කරන්න චන්දන මෙන්ඩිස් උත්සාහ කරපු එක එයා කරපු ලොකු වැරැද්දක් කියලයි මල්ලිට හිතෙන්නේ. පොත් කියවපු අයට මතක ඇති දොස්තර වොට්සන් සමුළුවකට ලංකාවට ආපු වෙලාවක එයාට ඔහුව මුණගැසුන බවක් සඳහන් කරලා චන්දන මෙන්ඩිස් නටපු නාඩගමක තරම. හෝල්ම්ස් කියන්නේ ඩොයිල්ගේ ප්‍රබන්ධයක් කියල දැනගෙන හිටපු ඔයාලත් මේකෙන් ලොකු අවුලකට වැටෙන්න ඇති. හැබැයි අපිට එච්චර නොතේරුනාට මේකේ ලොකු අර්ථයක් තියෙනවා කියලයි මල්ලිට හිතෙන්නේ. ඒ කියන්නේ මුල් කථාව මේ විදියට විකෘති කිරීමෙන් චන්දන මෙන්ඩිස් උත්සාහ කලේ ඩොයිල්ගේ කතා මාලාව තමන්ගේ කරගන්න කියලයි මල්ලිට හිතෙන්නේ. අනික මේ වෙනකොට චන්දන මෙන්ඩිස්ගේ හොල්ම්ස් කතා කියවන පාඨකයන් විශාල පිරිසක් බිහිවෙලා හිටිය නිසා මෙම කතා මාලවට තමන්ගේ හුරුවක් දෙන්නට චන්දන මෙන්ඩිස්ට උවමනා වෙන්නට ඇති. සරළව කියනවා නම් ෂර්ලොක් හෝල්ම්ස් නම ඇසුනු විගස ඩොයිල්ගේ නම වෙනුවට චන්දන මෙන්ඩිස් කියන නම පාඨක මනසට ඇතුළත් කර ගැනීමේ ( පහත් ) ආශාවක් චන්දන මෙන්ඩිස් හට තිබ්බද කියලා පොඩි සැකයක් මල්ලිට තියෙනවා.
මල්ලි හිතන විදියට නම් සදාචාරසම්පන්න පරිවර්තකයෙක් නම් මේ විදියට කතා විකෘති කිරීමෙන් වළකින්න ඕන, අනික නීතිමය පැත්තෙන් ගත්තම මේක ලොකු වැරැද්දක්. මොකද ඩොයිල් මහත්තයාගෙන් අවසර අරගෙන නෙමෙයිනේ චන්දන මෙන්ඩිස් මේ කතා වෙනස් කරන්නේ.

ඊළඟට මල්ලිට තියෙන අවුල තමා හෝල්ම්ස්ගේ කතා 60න් චන්දන මෙන්ඩිස් නතර නොවුන එක. පරණ ට්‍රන්කා පෙට්ටියක තිබිලා දොස්තර වොට්සන් ලියපු හෝල්ම්ස් කතා තොගයක් අහම්බෙන් හමුවූ අකාරයක බොරු කතාවක් ගොඩනගමින් පෙර කතා වල තිබුන තාත්වික බව නැති කරමින් තමා මෙයා මේ කූට ව්‍යාපාරය පටන් ගත්තේ. සර් ආතර් ගේ ෂර්ලොක් හෝල්ම්ස් කතා සේරම අසංෂිප්තව පරිවර්තනය කරපු නිසා ඔහුගේ කතා නිර්මාණයේ අභාශය යම් තරමක් දුරට චන්දන මෙන්ඩිස් ට ලැබෙන්නට ඇති. ඒ නිසාම තමා මැරුණු හෝල්ම්ස්ගේ චරිතයට නැවත පණ දීලා හෝල්ම්ස්ගේ අළුත් කතා නිර්මාණය කරන්න චන්දන මෙන්ඩිස් පටන් ගන්න ඇත්තේ. කල දුටු කළ වළ ඉහගන් කියන තියරියට චන්දන මෙන්ඩිසුත් අනුගත උනා.( අනුන්ගේ පහනින් එළිය බලන එක ඉතින් බහුතර ශ්‍රී ලාංකිකයන්ගේ පහත් ලක්ෂණය නේ.)
මේ විදියට චන්දන මෙන්ඩිස් ව්‍යාජ හෝල්ම්ස් කතා පෙළක් නිර්මාණය කරලා ලාංකික පාඨකයන් ට හඳුන්වා දුන්නත් ඒවා පරණ හෝල්ම්ස්ගේ කතා තරම් ජනප්‍රිය උනේ නෑ. මොකද මුල් කතා පෙළෙහි තිබුන රසවත් භාවය මේවයේ ගැබ් වෙලා තිබුනේ නෑ.
අළුත උපන් හෝල්ම්ස් ගැටළු නිරාකරණය කලේ ඉතා සරළ හා බොළඳ ක්‍රම වලට වීමත්, පෙර මෙන් පාඨකයාගේ කුතුහළය කතාවවේ අවසානය දක්වා පවත්වාගත නොහැකි වීමත්, අළුත් හෝල්ම්ස්ගේ කතා තේරුමක් නැති විකාර කතා වීමත් නිසා හෝල්ම්ස් චරිතය ලාංකික පාඨකයන්ට තරමක් දුරට හෝ එපා කරවන්න චන්දන මෙන්ඩිස් සමත් උනා.
ඩොයිල් මහත්තයා අමරුවෙන්, පාඨක සිත් තුළ රැඳෙන හෝල්ම්ස් චරිතයක් නිර්මාණය කළත් ඒ චරිතය ලාංකික පාඨකයන්ගේ සිත් තුළ රඳවමින් කතා මාලාව අවසන් කරන්න බැරි උනා කියල තමයි මල්ලිට හිතෙන්නේ. ශ්‍රේෂ්ඨ කතුවරයෙක් විසින් පණ පොවපු මුළු ලොවක් විස්මිත කරපු හෝල්ම්ස් චරිතයට අවසානයේදි ලංකාවෙදි නම් අත් වෙන්නේ ඉතා ශෝචනීය ඉරණමක්. ලෝකයක් ආදරය කරපු චරිතයක් ලාංකික පාඨකයන්ට එපා කරවීම තරම් පවක් සිදු කරවන්නට චන්දන මෙන්ඩිස්ව පෙළඹවීමට තිබූ එකම හේතුව නම් හැම මිනිසෙක්ගේම හෙණයට සිටින අධික මුදල් ආශාව කියලයි මල්ලි හිතන්නේ.
සර් ආතර් කොනන් ඩොයිල් මහත්තයාට කරන්න පුළුවම් ලොකුම නිගාව ලංකාවේ මිනිහෙක් කළා කියන එක අපිට ආඩම්බර වෙන්න පුළුවම් දෙයක් නෙමෙයි. මේවා දකින්න ඩොයිල් පණ පිටින් හිටපු නැති එක එයාගේ වාසනාව කියලයි මල්ලිට හිතෙන්නේ.

කොහොම උනත් අන්තිමේදි සූර වීර ෂර්ලොක් හෝල්ම්ස්ටත් ලංකාවේ මිනිහෙක් ගේම දුන්නා කියලා විතරක් මතක තියාගන්න.
කවුරු කොහොම කිවත්, කොච්චර ලස්සන උනත් පරිස්සමින් ජීවත් වෙන්න ඕනේ රටක් තමා මේක.

ප.ලි -
චන්දන මෙන්ඩිස්ගේ වාණිජ අරමුණ වෙනුවෙන් ෂර්ලොක් හෝල්ම්ස් චරිතය භාවිතා කිරීමට එරෙහිව ඩොයිල් මහතාගේ බලවත් විරෝධය සහ කෝපය පෙන්වීම සඳහා ලොකු මල්ලී විසින් ලියන ලදී.

33 යි අදහස්:

Supun Sudaraka said...

මෙහෙමයි,
දැනට ලෝකයේ පාවිච්චි වෙන බුද්ධිමය දේපල පිළිබඳ පනත් යටතේ ගත්තොත් මුල් රචකයාගේ මරණයෙන් අවුරුදු 50කට පස්සේ ඒකේ බුද්ධිමය දේපල හිමිකම පිළිබඳ අයිතිය නැති වෙලා යනවා. ඒක ඕනේම කෙනෙකුට ඊට‍ පස්සේ පාවිච්චි කරන්න පුලුවන් කියන එක තමයි මගේ මතකයේ හැටියට කියන්න පුලුවන් දේ. ඒක නිසා චන්දන මෙන්ඩිස් නීති විරෝධී දෙයක් කරලා නෑ කියලා කියන්න කටක් ඇරලා කියන්න පුලුවන්. ඒ වගේම ෂර්ලොක් හෝම්ස් චරිතය අරගෙන නිර්මාණ කරලා තියෙන්නේ චන්දන මෙන්ඩිස් විතරක් නෙවෙයි. ඒ චරිතය අරගෙන ගොඩක් දෙනෙක් ෂර්ලොක් හෝම්ස් කතා නිර්මාණය කරලා තියෙනවා. හැබැයි ඒ එක කතාවක් වත් ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරපු ඒවා ළඟටවත් එන්න බැරිවුනා. නීතිමය රාමුවෙන් එහෙම චන්දන මෙන්ඩිස්ව කොටු කරන්න බැරි වුනත්, තමන්ගේ නිර්මාණ වලින් නම් ෂර්ලොක් හෝම්ස් චරිතයට ලොකු අසාධාරණයක් කරා කියන එක තමයි මගෙත් හැඟීම. මේක නිසා, ලංකාවේ පාඨකයන්ගේ හදවත ඇතුළේ ෂර්ලොක් ‍හෝම්ස් චරිතය තදට වද්දවන්න බැරිවුනත් හැමදාම පාඨකයන්ට ෂර්ලොක් හෝම්ස් චරිතය මතක හිටීවි. මොනවා වුනත් ඩොයිල් විසින්ම නිර්මාණය කරපු කතාවල ජීවගුණය යම්තාක්දුරකට හරි රැකගෙන ෂර්ලොක් ‍හෝම්ස් චරිතය සිංහල පාඨකයන් අතරට ගෙනආපු එකනං ලොකු දෙයක්.

ඉන්දික said...

mamath holms rasikayek..me kathawe matath hithanna deyak thiyanawa.thankz

ලොකු මල්ලී said...

අදහස වලට බොහොම ස්තූති.
බුද්ධිමය දේපළ පනතට අනුව නම් වරදක් නොමැති බව මතක් උනේ ඔයා කරුනු පැහැදිලි කළාමයි.
මුල් කතා 60 අවම හානියක් වන ආකාරයට පාඨකයන් අතරට ගෙන ඒම ගැන චන්දන මෙන්ඩිස්ට ස්තූති කළ යුතුයි, නමුත් ඔහු නිර්මාණය කළ කතා වල මුල් රසය නොතිබීම ගැන කනගාටුයි. මගේ යහලුවන් කිහිප දෙනෙක්ද මේ අදහස දරන බව ඒ දවස් වල මට පැවසුවා.
මම කතා කලේ ලංකාවේ කරපු පරිවර්තන ගැන පමණයි. මෙලෝ රසයක් නැති හෝල්ම්ස් කතා පොතක් ද මට ළගදි දකින්න ලැබුනා ( ප්‍රකාශකයා මතක නෑ හරියටම, ගොඩගේ ද මන්දා . මුල් පරිවර්තන නම් සෑහෙන්න දුරට සාර්ථක උනා තමා.

ලොකු මල්ලී said...

@ ඉන්දික,
හැම පැත්තෙන්ම හිතනකොට නොදුටු දේවල් හම්බෙනවා.
බොහොම ස්තූති.

ප්‍රවීන් ඉන්ද්‍රනාම said...

සුදාරක කිව්වා වගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ..
චක්දන මෙන්ඩිස් මහත්මයා දැන් පරිවර්තනය කරන්නේ ඩොයිල් ලියපු කතා නෙමෙයි, වෙනත් රචකයන් පසු කාලීනව ලියපු ෂර්ලොක් හෝම්ස් කතා. ෂර්ලොක් හෝම්ස් හා ඩ්‍රැකියුලා දෙදෙනාම ඉන්න කතාව එහෙම හොඳ උදාහරණයක්.

හැබැයි ඉතින් මේ බව තමන්ගෙ පොත්වල සඳහන් කරනවනම් තමයි හොඳ, වෙන වෙන කතා ගොතලා පාඨකයන් අවුල් කරන්නේ නැතුව.

අමිල said...

මුලින්ම ෂර්ලොක් හෝම්ස් පොතක් පලවුනේ
1960 ගණන්වල හරි හැත්තැ ගණන් වල හරි. (ඒකාලෙ මම ඉපදිලවත් නැතිවුණාට ඒක පරිවර්තනය කරපු පරිවර්තකගෙ වෙන පොතකින් දැක්කෙ) ඒ පොතට අඩංගු වුණේ බැස්කවිල් බල්ලගෙ කතාව.
පොතේ නම "බැස්කවිල්හි රුදුරු බලුව"

ප්‍රවීන් ඉන්ද්‍රනාම said...

@ අමිල

Hound of the Baskervilles කථාවේ මම කියවපු හොඳම පරිවර්තනය නම් කේ. ජී. කරුණාතිලක මහත්තයා කරපු එක.

ඔය "බැස්කවිල්හි රුදුරු බලුව" කියන වර්ෂන් එකත් ඉස්සර කියවලා තියෙනවා. ඒක මහ චාටර්නෙ.

Supun Budhajeewa said...

ට්‍රන්ක පෙට්ටි කතාවක් ගහලා පාඨකයා ගොනාට අන්‍දවන්න හිතන්නෙ නැතිව, ඇත්ත කතාව කීව නං පාඨකයා හිත අවුල් කරගන්නෙ නැතිව එයා විසින්ම ලියපු හෝ වෙනත් ලේඛකයන් පසුකාලීනව ලියපු ඒවා ලබා දුන්නනං ප්‍රශ්නයක් නැහැ.

නරකම දේ, සමහර පසුකාලීන කතා වලටත් ඩොයිල්ගේ නම භාවිතා කරලා තිබීම.

ප්‍රවීන් ඉන්ද්‍රනාම said...

@ බුධාජීව

හ්ම්.. මේකට ඉතිං හේතුව නං මෙන්ඩිස් මහත්තයත් කල දුටු කල වල ඉහගැනීම :D හෝම්ස් series එක මාකට් වෙන නිසා ඒ ලේබල් එකෙන් දෙන්න පුලුවන් කුනුකන්දල් ඔක්කොම විකුණල දානවා :D

නිලන්‍ත said...

මමත් ෂර්ලොක් හෝම්ස් පොත් බොහෝ ගනනක් කියවල තියනව. සියලූම පරිවර්ථන කිව්වොත් නිවැරදි. ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් මහතාගේ ෂර්ලොක් හෝම්ස් කතා අවසානයේ ලංකාවෙන් ගිය දත් දොස්තර මහත්තයාගෙ අලුත් කතා වලින් පාඨකයාව අතරමං කරලය කියල ලොකු මල්ලී කතාවට මමත් සම්පූර්නයෙන් එකඟයි. මොකද මුල් සත්‍ය පරිවර්ථන වල තිබුනු පාඨකයාට මුලින් සිතාගැනීමටත් නොහැකි සුක්ෂම ස්වභාවය මේ නව රචනාවල කොහෙත්ම නෑ. හෝම්ස් හැරෙනකොට අපිට කියන්න පුලුවන් මොකටද හැරෙන්නෙ කියල. ඇත්තටම ෂර්ලොක් හෝම්ස් හිටියනං බේකර් වීදියෙ ගෙයින් එලියට බහින්නෙ නැතුවම මේ අලුත් කතාවල තියන ප්‍රශ්ණෙ විසඳයි.

ලොකු මල්ලී දන්නවත් ඇති ඩොයිල් මහතාගේ තවත් කතාවක් තියෙනව The Lost World කියල. ඒ පොත චන්දන මෙන්ඩිස් මහත්තය සිංහලට පරිවර්ථනයකරල තියෙනව "සැඟවුනු ලොවේ සවාරියක්" ලෙස. මේ කතාවත් ඉතාම රසවත්. නමුත් එහි දෙවැනි කොටස වශයෙන් මෙන්ඩිස් මහත්තය ලියනව කතාවක් "ජුරාසික් දඩයම" කියල. ඇත්තටම ඩොයිල් මහත්තයගෙ කතාවයි මෙන්ඩිස් මහත්තයගෙ කතාවයි අහසට පොලව වගේ. එහිදීත් මෙන්ඩිස් මහත්තය ෂර්ලොක් හෝම්ස් කතාවල චරිතත් පාවිච්චි කරල තියෙනව. නමුත් පලමු පරිවර්ථන වලට සාධාරනය ඉටුකිරීමට මේ නව රචනා අසමත් බව කනගාටුවෙන් උනත් කියන්න ඕනි. හැබැයි මේ පොතේ නම් මෙන්ඩිස් මහත්තය මේ කතාව තමංගෙ එකක් බව කියල තියෙනව. ලෝක සාහිත්‍යයේ වටිනා කෘති සිංහල කියවන පාඨකයාට කියවීමට පරිවර්ථනය කිරීමේස්තුතිය චන්දන මෙන්ඩිස් මහත්තයට යායුතු අතර එම කතාවල එන චරිත වලට කරනලද හානියට නම් සමාවක් දිය නොහැක.

ගයන්ත said...

හ්ම්! මමත් කතා ඔක්කොම වගේ කියවල තියෙනවා යාළුවෙක්ගෙන් ඉල්ලං ඇවිත් (මිනිහට පිං, ඔක්කොම පොත් ටික දුන්නට)..
ඒ අතරින් බහුතරය චන්දන මෙන්ඩිස්ගේ පරිවර්ථන..

ඒ පරිවරිථන නම් උපරිමයි.. කියවද්දි එපා වෙන්නෙ නැති වෙන්න පරිවර්ථනය කරල තියෙනවා..

නමුත් අර ට්‍රන්ක පෙට්ටි කතා ටික නම් චාටර්.. (මම ඔක්කොම කියවල නෑ හැබැයි)

ප.ලී යටතෙ කියල තියෙන දේම තමයි මටත් කියන්න තියෙන්නෙ..

Ramachandra said...

හොද ලිපියක්.
ෂර්ලොක් හෝම්ස් හා ඩ්‍රැකියුලා සම්බන්ධ කරලත් විකාරයක් ලියල තිබුනා මට මතකයි.ඒක අන්තිම කැත උත්සාහයක්.
මනෝජ් රත්නායකට පෙර 60 ගනන් වල ෂර්ලොක් හෝම්ස් කතා එකතුවක් පරිවර්තනය වෙලා තියෙනවා.අවාසනාවකට මට පරිවර්තකයාගේ නම මතක නැහැ.ඇත්තටම මම හෝම්ස්ගේ කතා හදුනගත්තේ ඒ කාතිය හරහා.අයිරින් ඇඩ්ලර්ගේ කතාව,රතු හිස කෙස් සංගමයේ කතාව වගේ කතා කිහිපයක් ඒ තුල තිබුනා.ඇත්තටම පරිවර්තනයක් විදිහට චන්දන මෙන්ඩිස්ගේ පරිවර්තනයන්ට වඩා ඒ මුල් පරිවර්තන කෘතිය සාර්ථක බවයි මගේ හැගීම.

chamila_dealwis said...

මම ෂර්ලොක් හෝම්ස් ගැන කියවන්න පටන් ගත්තේ බැස්කර්විල් හි රුදුරු බලුව තුලින්. ඒක කියන තරම් අවුල් නෑ. කතා රසය පවත්වගෙන යන්න පරිවර්තකයා සමත් වෙලා තිබුනා.

අනිත් කාරණාව. මට මතක විදියට මැරුණ ෂර්ලොක් හෝම්ස්ට නැවත පණ දෙන්නෙ ඩොයිල් ම තමයි.

මම වැඩියම ඔය පොත් ටික කියෙව්වේ නෑ. කියවන අයට මතකද ෂර්ලොක් හෝම්ස් කෙටි කතා කීපයක් එකතු කරලා පොඩි පොතක් තිබුනා ඉංග්‍රිසියෙන්. ඒ ටික මම කියෙව්වා. චන්දන මෙන්ඩිස් ගේ පොත් වැඩිය කියවන්න ගියේ නෑ. නමුත් තාත්වික ෂර්ලොක් හෝම්ස් චරිතයට අතාත්වික ඩ්‍රැකියුලා සම්බන්ධ කරන්න ගිය එක නම් ඔහු කරපු මෝඩ කමක්. තාර්කිකව සිතන හෝම්ස් වැනි කෙනෙක් ඩ්‍රැකියුලාව කොහොම සැක කලාද කියන එක????

LazyOwl said...

ලොකු මල්ලිගෙ කතාවට මමත් එකඟයි.

හැබැයි, පරිවර්තක සහ අනුවර්තක කියලා වර්ග දෙකක් තියනවා. සමහරු අනුවර්තනය කරන්න ගිහිල්ලා වැඩේ අනා ගන්නවා. ඒත් බොහොම ලස්සනට, මේක කරපු අයත් ඉන්නවා. උදාහරණයක් විදිහට, ඊ.ආර්.එරත්න කියලා මහත්තයෙක් ලියපු, "රොමාගෙ වාසනාව". උන්නෑහේ "චාර්ලිස්" ගොයියට දෙවෙනි නොවෙන්න වැඩේ දීලා තියනවා.

මම තවම මේ පොත හොයනවා.

Chrishi said...

චන්දන මෙන්ඩිස්ගෙ ට්‍රන්ක පෙට්ටි කතා ගැන ඩොයිල්ගේ පලවෙනි කතාවෙම කියලා තියනවා. අර වොට්සන් රහස් පරීක්ෂක කතා වගයක් කියල හෝම්ස් ගෙන් අහන්නෙ ඒවා ගැන. අන්න ඒ ජාතියේ පොත් තමයි චන්දන මෙන්ඩිස් ලියලා තියෙන්නේ.

ලොකු මල්ලී said...

@ අමිල, බැස්කවිල්හි රුදුරු බලුව පිළිබඳව මම දැනගෙන හිටියේ නෑ. ඔයාගෙනුයි දැනගත්තේ, බොහොම ස්තූති.

@ බුධාජීව - ඩොයිල්ගේ නමට තියෙන මාර්කට් එක නිසා තමා හැමෝම එයාවම විකුනගෙන කන්නේ.
ප්‍රවීන් අය්යා කියන කතාව හරි.

@ නිලන්ත - අය්යාගේ කතාව ඇත්ත, මමත් ඒ පොත ගැන ටිකක් දන්නවා. සිංහල පාඨකයෝ බහුතරයක් ඉන්ගිරිසියෙන් තියෙන පොත් කියවන්නේ නැති නිසා පහසුවෙන් ම අන්දන්න පුළුවම් නිසයි මෙයාලා අනුන්ගේ කතා තමන්ගේ කරගන්නේ. අපේ දුර්වලකමුත් හේතුවෙනවා මේකට. මොකද මුල් පිටපත් කියෙව්ව අය වෙනස දන්න නිසා එයාලාගෙන් මතු වෙන විරෝධය නිසා මෙයාලා මේ චරිත අයතා භාවිතය නවත්වනවා. නමුත් ලංකාවේ එවැනි පිරිස අඩු නිසා හානිය වැඩියි කියලයි මම හිතන්නේ.

ලොකු මල්ලී said...

රාමචන්ද්‍ර අය්යාගේ අදහස් වලට මමත් එකඟයි.
ඩ්‍රැකියුලෙක් සම්බන්ධ කරන්න ගිහින් හෝල්ම්ස්ගේ ප්‍රතිරූපය විනාශ කලා කියන මතයේ තමා මම ඉන්නේත්.

@ චමිල ද අල්විස් - මම දන්න විදියට නම් මරලා දාපු හෝල්ම්ස්ට නැවත ඩොයිල් පණ දෙන්නේ නෑ. විකියේ තියෙන විදියටත් කතා 60න් හෝල්ම්ස්ගේ වෘතාන්තය ඉවරවෙනවා. පොඩ්ඩක් හොයලා බලන්න කරුණාකරලා.

@ කම්මැලි බකමූණා - ඇත්තටම මම ඔයා කියපු පොත ගැන අහල නැති උනත් අනාගන්නේ නැතුව වැඩේ දෙන අය ඉන්න කතාව පිළිගන්නවා.
මොකද මමත් එහෙම සාර්ථක පරිවර්ථන කීපයක් කියවලා තියෙනවා.

ලොකු මල්ලී said...

@ ක්‍රිශි - අන්න ඒ හෝල්ම්ස් අහන කතාවෙන් තමා මෙන්ඩිසුත් අළුත් කතා ගොඩනගන්න නිදහසට කරණු ලෙස කියන්න පොටක් පාදගන්න ඇත්තේ.

ලොකු මල්ලී said...

අදහස් දක්වපු හැමෝටම තුති.
මම ගොඩක් කරුණු ඉගෙන ගත්තා ඔයාලගේ අදහස් වලින්.

ප්‍රවීන් ඉන්ද්‍රනාම said...

නෑ ලොකු මල්ලී, චමිල අදහස් කරන්නේ මේකයි.
The Memoirs of Sherlock Holmes පොතේ එන The Adventure of the Final Problem කතාවෙදි හෝම්ස් මැරෙනවා (මොරියාටි විසින් දිය ඇල්ලෙන් පහලට තල්ලු කිරීමෙන්)
ඒත් ආපහු The Return of Sherlock Holmes පොතේදි ඔහු නැවත එනවා, දියඇල්ලෙන් පහලට වැටුනත් මියගියේ නැති බව කියමින්.

ලොකු මල්ලී said...

අහ්! සමාවෙන්න, මල්ලිටත් පැටළුනා.
:)

LazyOwl said...

අමතක උනා නොවෑ කියන්න. "රොමාගෙ වාසනාව","Charles Dickens" ගේ "Great Expectations" කතාවේ අනුවාදයක්.මේක බොහොම ලස්සනට දේශීයකරණය කරපු පොතක්. ඕක කියවද්දි ඈති කරන චමත්කාරය,original එකටත් ඉහලයි. ලැබුණොත් බලන්නකො මම කිවුවට.

LazyOwl said...

මාතෘකාව රහස් පරීක්ශක වර්ගයේ පොත් නිසා, මට හිතුනා අපේ සිංහල පාථකයන්ට, තවත් පොඩි ඔත්තුවක් දෙන්න. නම " The Moonstone" කතෟ "Wilkie Collins". බොහොම අග්‍ර ගණයේ පොතක්.මේකත් රහස් පරීක්ශක ගණයේ පොතක්, ඔය අස්සෙ පොඩි ප්‍රේම වෘතාන්තයකුත් ලාවට යනවා.මේකත් කීප දෙනෙක් පරිවර්තනය කලත්, හරියට කලාද මතක නැහැ.ඔන්න link එක, කියවන්නයි, අහන්නයි දෙකම පුලුවන්.

http://librivox.org/the-moonstone-by-wilkie-collins/

-බිன்ku- said...

චන්දන මෙන්ඩිස් ගැන කිව්වොත් මට මතක හැටියට ඔහු "මඩොල් දුව" පොතටත් තවත් ඔහුම ගෙතු ප්‍රබන්ධයක් එක් කරලා තියෙනවා. ඒකට ෂර්ලොක් හෝමිස් ගතියක් පෙව්වට නරකක්ම කියන්න බෑ. ඒත් ඒකට මඩෝල් දුවෙක් දාපු ඒකත් උපාලි ජින්නාව දාපු ඒක ගැනත් මගේ මනාපයක් නෑ.

මම උපකල්පන කරන්නේ මෙතැනදී මෙන්ඩිස් දැන ඉන්න ඇති මේ අලුත් කතා පෙළ ඇත්තටම ඩෝයිල්ගේ නෙමේ කියලා. ඒ නමුත් තමාගේ ප්‍රතිරූපය මා නාමය ගොඩ නගා ගන්නත් එක්ක මෙවැනි ප්‍රලාප්යක් යොදන්න ඇති. මෙවැන්නකට අපේ රට ප්‍රකටයි නෙව.

කෙලින්ම කීවහොත් මෙවැනි ක්‍රියා තුලින් ඔහු පරණ කත්කරුවන්ගේ නාමයනුත් තමාට ආරෝපණ කරනවාද මන්දා. එහි දොසක් කීවාම නොවෙයි ඉතින්.

හොඳ ලිපියක්, මාත් වැදගත් දේ දැන ගත්තා.
ඒත් ලිපිය ලිවීමේදි වරහන් තුල අරක නෙමේ මෙහෙම හිතුවා නෙමේ කියලා නැතුව කෙලින්ම කියන්න මචං කියන දෙයක්. උඹට ලියන්නත් පුළුවන් හොඳට, මටත් වැඩිය.

****
දොස්තර මෙන්ඩිස් කිව්වාම අපේ මෑන් කෙනෙක් මතක් වෙන්නේ නැද්ද? උන්දෑට මාර "මෙන්ඩිස්" 'නෑදෑයෝ' ඉන්නවානේ. පොඩ්ඩක් අහපංකෝ මේ මෙන්ඩිස්ව දන්නවාද කියලා. මං මතක් කොරා කියලාත් කියං.
****

H. Madhawa Ranga said...

මේ ලිපිය සමඟ මම සම්පූර්ණයෙන්ම එකඟයි. ම්මත් එම කතා 60ම කියවල තියෙනෙව. අපරාදෙ කියන්න බෑ. චන්දන මෙන්ඩිස් මහතා ඒව පණ පිහිටුවල පරිවර්තනය කරල තියෙනව. මගෙ ලඟ ඔක්කොම නැතත් කතා 50ක්වත් තියෙනව. ඔක්කොම චන්දන මෙන්ඩිස්ගෙ ඒව තමා.
ඒත් අලුත් කතා නම් ගන්නම දෙයක් නෑ, කිසිම රසයක් නෑ, මම ආසාවට එක පොතක් කියෙව්ව, ඒකෙන්ම එපා උනා. චන්දන මෙන්ඩිස් මහත්තය, තමුන්ගෙ වාසියට බොරු ගොතල, කරගෙන ගිය ව්‍යාපරය දිගටම ගෙනියන්න තමයි හදන්නෙ, ඒත් ඒක එච්චරම සාර්ථක උනේ නෑ, මොකද අලුත් පොත් පරණ එව තරම් රසවත් නොවුන නිසා.

ලොකු මල්ලී said...

@LazyOwl- Charles Dickens ගේ පොත් නම් එළම කිරි.
ලින්ක් එකට බොහොම තුති.
කියවලා බලන්න ඕනේ.

බින්කු සහෝදරයා - බොහොම තුති අදහස් වලට.
මේ වගේ තවත් සහිත්‍ය හොරෙක් තමා ආරියනන්ද දොඹගහවත්ත. මම එහෙම කියන්නේ හේතුවක් ඇතිව. මම අපේ නංගි ගාව තිබිලා අහම්බෙන් කියෙව්ව එයගේ ම නිර්මාණයක් කියලා කියන පොතක්. නමුත් ඒකේ තිබුනේ ඊනිඩ් බ්ලයිට්න්ගේ සහ අර සොලමන් රජුගේ දියමන්ති පතල් ගැන කියවෙන කතාවේ එකතුවක්. මේ මනුස්සයා කරල තිබුනේ ප්‍රකට කතා කීපයක් එක් කරලා එක කතාවක් හදලා එවා ලාංකිකත්වයක් දෙන්න හදපු එක විතරයි. අමු හොරෙක්ගේ සම්පූර්ණයෙන්ම අසාර්ථක පොතක් ඒක නම්. නම මම හොයලා කියන්නම්.
අපේ වඳුරු මෙන්ඩිස් සහෝදරයා නම් සුවෙන් සැපෙන්.
මෙන්ඩිස් කියනකොට මිනිහව අමතක වෙලා කෝමද? මොන්ටිසෝරියේ ඉඳන් මගේ මිත්‍රයා නොවැ.

ලොකු මල්ලී said...

@මාධව - ඩොයිල් මහත්තයාට ලංවෙන්න අපෙ මෙන්ඩිස් හිතුවා මදි.
අළුත් කතා ටික අර අපේ සොහෝදරයෙක් කිව්ව වගේ හෝල්ම්ස් බේකර් වීදියේ නිවසින් එළියට බහින්නේ වත් නැතුව විසඳයි.

Prabhath Darshana said...

ඇත්ත කතාව. නියම ෂර්ලොක් හොම්ස් පරද්දන්න බෑ. ඒ නම විකුනන්න ගිහින් කොච්චර හොඳ දෙයක් කරල තිබුනත් චන්දන මහත්තයා වැඩෙ නා ගත්තා.......

ගෝමස් said...

ඔය මෙන්ඩිසාගේ ඩුප්ලිකේට් පොත් තුනම මාත් බැළුවා..
@රාමා..
මට මතක හැටියට රුදුරු බලුව පරිවර්ථනය කලෙත් කරුණාතිලක මහත්තයාද කොහෙද... රාමාකියපු අනික් පොතක් කලින් පරිවර්ථනය වුනා වගේම. බෙල්ගේ දිග ෂර්ලොක් හෝම්ස් කතා ඔක්කම මෙන්ඩිස්ට කලින් පරිවර්ථනය කරලා තිබුනා වගේ මතකයි..

Harindu said...

machan mama loku kamakata kiyanawa kiyala hitanna epa.....eth amaaruwen hari english poth set eka kiyawanna try karot mama hitanne meeeta wada hoda thril ekak tiyenawa...

mama yantam yes no kiyanna purudu una kaalei sherlcok holmes englsih poth set ekak ape iskoole brotherslage library eken illa gatte...

mama den nam tikak witara engirisi dannawa... eekata aditaalama dunne Arthur C Doyle mahattaya... ethumata jaathi jaathit pin...

mama hitanne eegenat ubala poddak kiyala podi un unandu karot apee podi unta ara lankaawe jeewat welat ENGLISH walin adana dodana naluwo issaraha kadda wananna puluwan wei

Basuru Uvindu said...

mama hithanne mahemayi, ooka buddimaya deepala panathata anuwa waraddak une nathi unata sadachaara wirodiyi. Neethiyen waradi karuwek wenne tharkaya anuwa. Neethyanukuulawa waraddak une nathuwata wade sadachaara sampanna naa. Kohoma unath anthime karapu wade waradi kiyana eka mathk kala yuthuyi, mahajanaya grn sathya wasan kara mudal ipayima walatath hena gahana paapayak bawa mage paudgalika hangeemayi. mewani dee prasidda wedikawe katha kireema gana loku mallita isthuthiyi.

Basuru Uvindu said...

mamath S.H. poth okkoma kiyeuwa. eeth anthimeedi awasana made in Sri Lanka poth tika gana dukak athi una.

kithsiri bandaranayake said...

ammata hukapan kari wesawa!!!!!!!!!

Post a Comment