Friday, September 18, 2009

සාහිත්‍ය මාසයට මලක් කඩමු


සාහිත්‍ය මාසය
මලක් දෙකක් කඩන්න
ෆන් එකක් ගන්න
ෆැෂන් එකට BMICH යන්න
නැකත හරි.

*සරළ සිංහලෙන් කොලු ඇතුළු සියලු ප්‍රජාවට තේරෙන්න මල්ලිටත් තෙරෙන විදියට ඔන්න සාහිත්‍ය මාසය අර්ථ දැක්කුවා. මේ විදියට කිව්වම ඉතින් හුස්ම වැටෙන ඕනෙම මනුස්ස බුවෙක්ට තේරෙනවනේ.

කස්ටිය මේ දවස් වල බුක් ෆෙයාර් යන්න ගැන්සි සෙට් කරනවා ඇති නෙද? මල්ලිත් ගැන් එකට කෝල් කලා. කස්ටිය බාගයක් විතර රට අතහැරලා ගිහින්. 20ක් විතර සෙට් උනා, ඒ ඇති ගල්කිස්ස හෝටලෙන් කරන කැන්ටිම පෝසත් කරන්න. ගියා කියලා පොත් ගන්න එකක්යැ.

මල්ලි විතරක් නෙමේ, ඕකට එන බාප්පලා නැන්දලා උනත් බහුතරයක් එන්නේ කියවන්න කියලා පොත් ගන්න නෙමේ.
මේ දවස් වල BMICH එක දකින පිටරට ඕනේ සුද්දෙක් හරි කල්ලෙක් හරි හිතන්නේ මේක මාර බුද්ධිමත් ජනතාවක් ඉන්න රටක් කියලා. හික් හික්ස්. ඡන්ද වලින් දිනන එළ හරක් ටික දකින නිසා මල්ලි නම් දන්නවා බුද්ධියේ තරම මේ රටේ ගොඩක් මිනිස්සුන්ගේ.
හැබැයි මම කියන්නේ නෑ මේකට පොත් වල වැදගත්කම දන්න උදවිය එන්නේ නෑ කියලා. කොහොම උනත් අපි වගේ බහුතරයක් BMICH එකට මේ දවස් වල එන්නේ නම් ජොලියටත් එක්ක.
මේ දවස් වල BMICH එකට එන මිනිස්සු කන්දරාව දැක්කම ඕනේ කෙනෙක්ට හිතෙනවා මිනිස්සු මෙච්චරටම පොත් කියවනවද කියලා. පිළිතුර සරළයි, උත්තරේ අපෝ නෑ කියන එකයි. අවංකවම පොත් වලින් ප්‍රයෝජන ගන්න ඕනේ නිසා පොත් ගන්න BMICH එකට මේ දවස් වල එන්නේ රටේ පොත් කියවන ජනතාවගෙන් 1/5ක් විතරයි. ඔයාලත් ටිකක් හොඳට බලන්නකෝ එන කට්ටිය දිහා.
හැබැයි උසස් අධ්‍යාපනය කරන කස්ටිය නම් මේකෙන් සෑහෙන්න ප්‍රයෝජන ගන්නවා, ලොකු මල්ලිත් ඒ ගැන අවංකවම සතුටු වෙනවා. ඒ වගේම එක එක පුස්තකාල වලට පොත් ගන්න අයත් එනවා, ඒකත් බොහොම හොඳ දෙයක්. මීට අමතරව පොදුවේ ගත්තම තව යම් කිසි සුළු පිරිසකුත් ඉන්නවා මේ දවස් වල BMICH එකෙන් පොත් අරන් ප්‍රයෝජනයට ගන්න.
ඒ උනාට කොච්චර මිනිස්සු මේකෙන් පොත් ගන්නවද? ඔයාලටම පේනවනේ. හැබැයි මේ පොත් ගන්න අය ඇත්තටම මේ පොත් කියවනවද කියන එකයි ප්‍රශ්නේ ? ඒකටත් අර කලින් වගේම නෑ කියන සරළ පිළිතුරම තමයි නේද?
ඇත්තටම ලොකු මල්ලිට පේන විදියට නම් මෙහෙම මේ කාලෙට BMICH යන එක දැන් ලංකාවේ fashion එකක් වෙලා. මම හිතන්නේ ඔයාලත් ඒකට එකඟ වෙනවා ඇති.
තරුණ වයසේ ගොඩක් අය වගේම තරුණකම යන්තම් පැනගෙන එන මාමලා නැන්දලත් ගොඩක්ම එන්නේ විනෝදෙට වගේ, ඇවිත් නිකන් මෝස්තරේට පොරකාලා පොත් ටිකක් අරගෙන යනවා.
තව මොන කතාද, ලොකු මල්ලිගේ පුංචි & මාමත් හැමපාරම ඇවිත් පොත් ගොඩක් උස්සන් යනවා, ඒ උනාට ඒ ගෙනියන පොත් වලින් 1/5ක් වත් කියවන්නේ නෑ, මේවා මල්ලිගේ ඇහැට පේන සත්‍ය.
මෙහෙම මෝස්තරේට හරි ජොලියට හරි පොරකකා පොත් ගන්න එන කට්ටිය නිසා ඇත්තටම ලොකු විනාශයක් වෙනවා නොදැනුවත්වම උනත්. මොකද අධික තදබදය නිසා BMICH එකට පොත් ගන්න ගොඩක් අය එන්නෙත් නෑ, ඇත්තටම උවමනාව නිසා පොතක් ගන්න ආපු අයට අවශ්‍ය විදියට තෝරලා පොත් ගන්න වෙන්නේත් නෑ. මල්ලිට නම් ඒක ඇත්තටම කණගාටුවට කරුණක්.

ඒ නිසා මේ පොත් ප්‍රදර්ශනයෙන් රටේ කියවන ජනතාවගේන් බහුතරයකට සෙතක් වෙන්නේ නම් නෑ කියලා තමයි මල්ලිට හිතෙන්නේ.


* මල්ලිත් යන්නයි ඉන්නේ, කාලයක් තිස්සේ හොයන පොත් 2ක් තියෙනවා, ඒ දෙක අඩුවට කෙසේ වෙතත් වැඩි ගානටවත් ගන්න තියෙනවද කියලා බලන්න ඕනේ.

ආතල් එකට යන කට්ටිය පොරකන්න නොගිහින් කැන්ටිමෙන් කාලා ඒකේ මිනිස්සුන්ටවත් සෙතක් කරලා එන්න කියලා මල්ලි ඉල්ලීමක් කරනවා, තරහා නෑනේ?

Friday, September 11, 2009

හෙණ ගහපන්!


මේක නම් වැඩි ලියන්න හිතදෙන මතෘකාවක් නෙමෙයි, අනික මම වැඩිය කියන්න යන්නෙත් නෑ මම ආවේගශීලී වෙන නිසා මේ කාරණයෙදි. පාරේ යන සුදු වෑන් වලට අත දාන්න ඕනේ නෑනේ.

අවුරුදු 30ක් තිබුණ් කුරිරු යුද්ධය ඉවර වෙන්න ඔන්න මෙන්න කියලා තියෙනකොට රාජ්‍ය මාධ්‍ය වලින් රස කර කර තලු මර මර කියපු ප්‍රවෘත්තියක් තිබුනා. ඒ තමයි ඉහළ පෙළේ කොටි නායකයෝ 2ක් උන ජෝර්ජ් මාස්ටරුයි දයා මාස්ටරුයි අපේ හමුදාවට බාර උන එක.
ඒ දෙන්න ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ කොයි ජාතියේ බඩු දෙකක්ද, කලේ මොනවද කියලා. එ දවස් වල උප්පත්තියේ ඉඳන් කිව්වනේ එයාලගේ.
කොහොම උනත් මෙච්චර දවසක් කොටි ප්‍රහාර වලින් ශ්‍රීලාංකිකයන්ට උන හැම ප්‍රහාරයකම වගකීම ඒ දෙන්නටත් පැටවෙනවා. අනික කේ.පී අංකල් හැරුනම ඉන්න ප්‍රදාන කොටි ප්‍රබලයෝ 2ක්නේ.

හැබැයි ඉතින් අන්තිමටම කොටි මාස්ටර්ලා 2 ලක්ෂ25 ගානේ ඇප ගෙවලා ගෙදර ගියා, පත්තරේට ලිවුමක් ලියපු තිස්සනායගම් මහත්තයා අවුරුදු 20කට හිරේ ගියා.

අනේ මන්දා ඉන්තින් මේ සිම්පල් ප්ලෑන් අස්සේ සංකීර්ණ ප්ලෑනුත් තියෙන නිසා වෙන්න ඇති හුදී ජනයා උන අපිට තේරෙන්නේ නැත්තේ මේක උනේ කොහොමද කියලා.

එක්සත් ශ්‍රීලංකා රාජධානියේ නීතිය ඉෂ්ඨ සිද්ධ වෙන්නේ ඔන්න ඔය ආකාරයටලු.

ප.ලි - හෙණ ගහන්න ඕනේ කාටද කියලා මල්ලි අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ

Friday, September 4, 2009

හෙළ බොජුන්


හෙළ බොජුන් කියලා මේ පටන් ගත්තේ අපේ ගැටිස්සියන්ට ලංකාවේ කෑම හදන්න කියලා දෙන්න නෙමේ පබිලිස් මහත්තයා වගේ.අපේ ටීම් එක කාපු හෙළ බොජුන් ගැන කතා කරන්නයි හැදුවේ.
කනවා කියලා ඉතින් T20 මැච් වල මෙහෙමත් කන එක හරිද මම අහන්නේ? අපිත් යනවනේ ඉතින් 300ක් ගෙවල කස්ටියට චියර් පාර දාන්න, මේවා හොඳ පාඩම්. අපි මේවා ඉගෙන ගත්තු නිසා තමා දැන් ලංකාව ගහන T20 මැච් බලන්න ගියාම ලංකාවට චියර් කරන එක පැත්තකින් තියලා ආපු අක්කලාට නංගිලාට චියර්කරන්නේ. අමතර කතාවක් කිව්වේ අනාගතයේදී මැච් බලන්න යන කොල්ලන්ට වියදම් කරපු ගාන ගැන පසුතැවිළි වෙන එක වලක්වන්නයි. නැත්තන් ඉතින් මේ වගේ ගෙදරට වෙලා බ්ලොගක් ලියන් ඉන්න ඕනේ පාඩුවේ.

සේරටම කලින් මම නිකමට අහන්නේ, ලංකාවේ ටීම් එක ලංකාවේදී කනවට කියන්න ඉතින් හෙළ බොජුන් වලට වඩා නමක් තියෙනවද?
හැබැයි ඉතින් අපේ මේ කෑමට වග කියන්න ඕනේ හරක් රැළක් එකතු කරලා හදපු තේරීම් කමිටුවයි ක්‍රීඩකයන්ගෙන් කාලා ඇඳලා පාටි දදා ඉන්න ක්‍රිකට් පාලක මණ්ඩලයයි තමයි. මේ කස්ටියගේ වැඩ ගැන ඉතින් කතා කරනවට වඩා හොඳයි................................................, - කියන්න එන එක ලියන්න ලැජ්ජයි, මොකද ලොකු මල්ලිත් ලැජ්ජා බයට හැදුන කොල්ලෙක් දැන් මෙහෙම උනාට.
කොහොමත් ඉතින් අය්යලයි අංකල්ලයි දාලා ටීම් හදාගත්තම මැච් දිනන්න අමාරුයි කියලා අපි මතක තියාගන්න ඌනේ.

සනත් ජයසූරිය ඉතින් ලංකාවට ආඩම්බරයක් හැමදාම, එයා අපේ ක්‍රිකට් වලට කරපු සේවය අමතක කරන්න බෑනේ. හැබැයි ඉතින් එහෙමයි කියලා හැමදාම ටීම් එකේ ඉන්න එකත් හරි නෑ නේද? අදත් විකට් 2ක් නම් ගත්තා, ඒ උනාට දැන් ගහයි දැන් ගහයි කියලා බලන් හිටියට කෝ නෑ නේ. හැම කෙනෙක්ටම තමන්ට කරන්න පුළුවම් උපරිමයක් තියෙනවා, ඒක තේරුම් අරන් වැඩ කරන එක වැදගත් කියලයි මල්ලි හිතන්නේ.
මම හිතන්නේ ලංකාවට පහළ උන අති දක්ශම ක්‍රීඩකයෙක් තමයි සනත්, තරුණ කාලේ හොඳට සෙල්ලම් කලා. ලංකාවට ලොකු කීර්තියක් ගෙනාවා. ඒ උනාට දැන් ඉතින් හිතේ හයියට ගහනවා මිසක්, ක්‍රිකට් ගහන වයසක්ද මේ? නාකි විසේ ගෙටත් උසේ කියලා කියන්නේ මේවට නෙමෙයි උනාට නෙමෙයි මත් නෙමෙයි.
කොහොම උනත් මල්ලි නම් හිතන්නේ සනත් යන්න ඕනේ කාලේ දැන් නම් හොඳටම හරි කියලයි.
තීරීම් කමිටුවේ ඉන්නේ හරක්, අපිට උන්ව හදන්නත් බෑ, උන් හැදෙන්නේත් නෑ.
ඒ කොහොම උනත් මෙතන යමක් කමක් තේරෙන මනුස්සය සනත් අංකල්.
අංකල් දැනගන්න ඕනේ කාලේ ආවම ගෞරවාන්විතව සමුගන්න. දැක්කනේ අපෙන් මෙච්චර බැනුම් අහන ඕස්ට්‍රේලියානු ටීම් එකේ ඇඩම් ගිල්ක්‍රිස්ට් බායි කිව්ව හැටි. තමන්ගේ දක්ශතා වල උපරිම කාලයේදී කල වයස හරි නිසා නවකයන්ට තැන දෙන්න එයා අයින් උනා. ඒ පැත්තෙන් නම් එයා හොඳ ක්‍රීඩකයෙක්, විවාදයක් නෑ.

මල්ලි දැක්ක විදියට නම් දැන් ඉතින් සනත් අංකලිගේ ශක්තියත් අඩුයි, ඉස්සර ගහපු පාරවල් ගහන්න ට්‍රයි කලාට හරි යන්නේ නෑ, 6ක් යන්න ගැහුවම ගොඩක් වෙලාවට 4 යන්නෙත් හරිම අමාරුවෙන්. බුදු දහමෙත් ඉතින් කියනවනෙ සියලු දේ අනිත්‍යයි, පවතින්නේ අපි කරගන්න කුසල් අකුසල් විතරයි කියලා. ඔන්න අද පෝය දවසේ මල්ලි ආගම දහමත් ටිකක් මතක් කරලා දුන්නා.

මල්ලිට නම් හිතෙන්නේ තියෙන ගෞරවය රැකගෙන අපේ සනත් අංකල් දැන් වත් බායි කිව්වොත් හොඳයි කියලයි. එයා තේරුම් ගන්න ඕනේ අළුත් දක්ශ අනාගත සනත්ලා කී දෙනෙක් අපිට නැති වෙනවද කියලා මේ වැඩ නිසා. අනික මෙහෙම තව ඉන්න එකෙන් වෙන්නේ සමුගන්න කාලය වෙනකොට රටේ ලෝකේ මිනිස්සුන්ගෙන් හොඳටම බැනුම් අහගෙන, එයා ගොඩනගාගත්තු ප්‍රතිරූපය එයාම විනාශ කරගෙන මිනිස්සුන්ට එපා කරවලාම යන්න වෙන එකයි.
දැන්ම ගියොත් එදත් අදත් හෙටත් මිනිස්සු සනත් ජයසූරියගේ විශිෂ්ඨ දක්ශතා ගැන නොඅඩුව කතා කරයි, නමුත් තවත් ඉඳලා දක්ශතා අඩු වෙලා එපා වෙලාම යන්න හිටියොත් මිනිස්සුන්ට ගුණ කතා කරන්න මතක හිටින එකක් නෑ. ලංකාවේ බොහොමයක් කස්ටියගේ හිත් ඉතින් ඉක්මනට වෙනස් වෙනවා, හැමදේම ඉක්මනට අමතක කරනවනේ.

තරුණ කාලේ දක්ශතා වලට හැමදාම තැන දෙන්න ගියොත් වෙන්නේ ලංකාවේ ක්‍රිකට් ටීම් එක වැඩිහිටි නිවාසයක ටීම් එකක් වගේ වෙනවා මිසක්, හැකියා වලින් සන්නද්ධ ක්‍රිකට් මැච් ගහන්න පුළුවම් ටීම් එකක් නොවෙන එකයි.

දක්ශයාට නිසි තැනත්, විශ්‍රාමිකයන්ට නිසි ගෞරවයත් කියන 2ම දෙන්න ලංකාවේ ක්‍රිකට් පරිපාලනය අසමත් නිසා..........................................................................................................................................................
-මෙතනට ගැලපෙන ඒවා ගොඩක් තියෙන නිසා ලිව්වේ නෑ, ඒ ඒ ආකාරයට ගැලපෙන ඒවා දාලා හිතාගන්න මල්ලිගේ පුළුල් දර්ශනය.

පලි - සනත් ජයසූරිය කියන අති දක්ශ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාට මඩ ගැසීමේ කිසිම අරමුණක් ලොකු මල්ලීට නම් ඇත්තෙම නැත, නමුත් තමන්ගේ කාලය ආවාම දුකෙන් උනත් යන්න වෙනවා කියන එක මතක් කරන්නයි මේ ටික ලිව්වේ.

අද මේ නවසීලන්තේ එක්ක ගහපු මැච් එක පැරදුන එකේ සම්පූර්ණ වගකීම සනත් පිට පවරන්න නම් නෙමෙයි මේක ලිව්වේ, පිතිකරණයෙන් නැති උනත් සනත් අද පන්දු යැවීමෙන් දක්ශතා පෙන්වපු නිසා අද ටීම් එකේ ඉන්න නිදොස් ම පුද්ගලයා සනත් කියලයි මල්ලි හිතන්නේ.

Thursday, September 3, 2009

aXXo ගේ බාප්පා ඇවිත්.


හුදී ජනයාගේ හිත සුව පිණිස මම මේ හදිස්සියේම ලියන්න ගත්තා මිසක් මම මීලඟට ලියන්න හිටියේ මේ ගැන නෙමෙයි. බොහොම පොඩි වැදගත් කාරණාවක්, මම දැක්ක දෙයක්, අනිත් අයටත් පෙන්වලා දෙන්න ඕනේ උනා.

ටොරෙන්ට්ස් හරහා චිත්‍රපටි බාන කට්ටියට වැදගත් දෙයක් මේක, පොතේ ගුරා අයියත් එයාගේ බයිස්කෝප් එකේ දාලා අපේ කට්ටියට මේ ගැන අනතුරැ අඟවන්න.

ගොඩක් බයවෙන්න දෙයක් නෙමෙයි, හොර axxo කෙනෙක් ඇවිත්.

මම මේ නිකමට කහනවට වගේ ටොරෙන් ෆයිල් වගයක් හොයනකොටයි දැක්කේ, දැන් ටික දවසක ඉඳන් අළුතින් මනුස්සයෙක් ටොරෙන් ෆයිල් අප්ලෝඩ් කරනව අපේ හිටපු සූර වීර axxoගේ නමින්. නමුත් 2009යේ මාර්තු මාසෙන් පස්සේ අපි දන්න කියන axxo කිසිම ටොරෙන්ට් ෆයිල් එකක් හදලා අප්ලෝඩ් කලේ නෑ, හැබැයි මල්ලි දන්නේ නෑ එයා මොකද ඒ වැඩේ නැවැත්තුවේ කියලා.
කොහොම උනත් දැන් ටොරෙන්ට් ෆයිල් දාන එකා හොරෙක්, රැවටෙන්න නම් එපා. හැරී පෝටර්, ට්‍රාන්ස්ෆෝමර්ස් 2 වගේ අළුතින් ආපු චිත්‍රපටි ගොඩකම 700mb සයිස් ෆයිල් තියෙන ටොරෙන්ට්ස් මේ හාදයා අප්ලෝඩ් කරලා.
අපි ඉතින් ඉස්සර නම් පුරුදු වෙලා හිටියේ axxo කියන නම දුටු තැන බාගන්නනේ, මොකද කාටවත් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ෆිල්ම්ස් වලට තියෙනව හොදම convert එක axxoගේ කියලා. විකියෙත් ගේ එක ගැන පුදුමය පළ කරලා දාලා තිබ්බා මතකයි. මොකද මිනිහා ඕනේම ෆිල්ම් එකක් 700-900mb සයිස් එකට convert කරනවනේ කොලිටි එක වෙනස් නොවෙන තරමට ම හොඳට.

කොහොම හරි කවුරු හරි අපතයෙක් axxoගේ හොඳ නම පාවිච්චි කරලා බොරු ටොරෙන්ට් දාලා අපිව අන්දන්න හදනවා.

මල්ලි කියන්නම්කෝ ඔයාලට මේවා අඳුරගන්න හැටි.
මෙහෙමයි,
ෆිල්ම් එකක ටොරෙන්ට් axxo දාන්නේ මෙහෙමයි,
name.of.movie[year]DvDrip[Eng]-aXXo.avi
නමුත් අළුතෙන් ආපු axxo බාප්පා ටොරෙන්ට් දාන්නේ මෙහෙමයි,
name of movie year axxo.rar

අනිත් කාරණය තමා .rar ෆයිල් සිස්ටම් එක axxo පාවිච්චි කරන්නේ නෑ, axxo දාන්නේ .avi විතරයි.

ඒක නිසා බැරි වෙලාවත් අළුත් axxoගේ ටොරෙන්ට් දැක්කොත් එවා අඳුරගෙන ප්‍රවේශම් වෙන්න.

කස්ටියටම මේ කාරණය කියලා මල්ලි ඔන්න මල්ලිගේ ඩියුටිය කලා.

ප.ලි -
මාර කෙලිය කියන්නේ මම දැන්, ඒ කියන්නේ මුලින්ම මේක දැකලා පැයකට විතර පස්සේ චෙක් කරනකොට හොර axxoගේ ටොරෙන්ට් ගොඩක් අයින් කරලා.

කොහොම නමුත් ඕකා ආයේ axxoගේ නමින් අප්ලෝඩ් කරයි, ඒක නිසා කල්පනාවෙන් ඉන්න.

හොර axxoගේ ටොරෙන් අයින් කරපු කස්ටියට ලොකු මල්ලි බොක්කෙන් ම ස්තූති කරනවා.

Friday, August 28, 2009

ෂර්ලොක් හෝම්ස් ටත් ලංකාවෙදි කෙල වෙයි.


මේක නම් මම ටිකක් අමුතු විදියකට ලියන්න යන්නේ, මොකද කලින් පාර වගේ නෙමෙයි මේ පාර මට හෙඩිම තමා ඉස්සෙල්ල මීටර් උනේ. ඉතින් මම මතෘකාව දගෙනම දෙයියනේ කියලා ලියන්න ගත්තා.

ඉස්සර නම් ඉතින් ලංකාව ආගන්තුක සත්කාරයට මුලු ලෝකෙම ප්‍රසිද්ධයිලුනේ, හැබැයි ඉතින් ලොකු මල්ලි දන්න කාලේ ඉඳන් නම් ඔහොම කතාවක් නෙමෙයි අහන්න ලැබුනේ.
ලෝක අණ්ඩපාලයෝ ඉන්න රටක් විදියට තම්මයි දැන් කවුරුත් පිළිගන්නේ ( අපේ රටට අපහාස කරන්න කිව්වා නෙමෙයි, සමාජයේ පොදු මතය කිව්වේ, හැබැයි ඉතින් පිටකොටුව, පන්චිකාවත්ත එහෙම මතක් වෙනකොට වැරදි කියන්නත් බෑ ඒක, ළඟින් ගියත් ඩතක් නෑ ).හැබැයි ඉතින් මේකත් ඒ වගේම ලංකාවේ කෙනෙක් හීන් නූලෙන් දීපු ගේමක්, එහෙමත් නැත්නම් ලංකාවට ආපු ෂර්ලොක් හෝල්ම්ස් ට මෙහේ කෙනෙක් නිසා ඇඩ්‍රස් නැති උනා කිව්වත් හරි. නමුත් ටිකක් පරණ සිද්ධියක්. ( හැරී පෝටර් හිට් වෙලා ඉන්න මේ කාලේ මේ වයසක මනුස්සයෙක් ගැන කතා කරන්න ලොකු මල්ලිට පිස්සුද කියලා හිතනවද දන්නේ නෑ )
මේකයි සිද්ධිය,
කාටවත් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ෂර්ලොක් හෝල්ම්ස් කථා සෙට් එක ගැන. අකුරු කියවන්න දන්න ගොඩක් අය අතර ජනප්‍රිය පොත් ටිකක්, ලංකාවේ විතරක් නෙමෙයි මුලු ලෝකෙම වගේ.
සර් ආතර් කොනන් ඩොයිල් 1887 මවපු චරිතයක් තමා හෝල්ම්ස් කියන්නේ. මවපු චරිතයක් උනාට ලේඛකයාගේ හැකියාව නිසා මේ චරිතයට ජීවමාන බවක් ආරූඪ උනා.
වෙනත් ප්‍රබන්ධ කථා වල නැති විදියට මේ රහස් පරීක්ෂක හෝල්ම්ස් ගැටළු නිරාකරණය කරන නිසා මේ කථා මාලාව පාඨක සිත් වශී කරගත්තා කිව්වොත් ලොකු මල්ලි වැරදි නෑ. හැරී පෝටර් තරම්ම නොවූවත් ෂර්ලොක් හෝල්ම්ස් ලෝකය පුරා සෑහෙන්න ජනප්‍රිය උන පොත් මාලාවක්.
( හැබැයි මේ චරිතය බිහි වෙන කාලයේ ත් අද වගේ රූපවාහිනී, පරිගණක සහ අන්තර්ජාලය තිබුනා නම් මේ කතා මාලාවේ අහලකටවත් පෝටර් මල්ලිට එන්න බැරි වෙනවා, ඒ කියන්නේ රෝලින් නැන්දට රෝල් වෙලා වත් ඩොයිල් මහත්තයාගෙ ළගට එන්න බැරි වෙනවා. අමුතුවෙන් ලොකුවට විස්තර කරන්න ඕනේ නෑනේ, මෙතන ඩොයිල් මහත්තයාගේ හෙණයට හිටිලා තියෙන්නේ ඒ කාලයේ තිබුන සමාජ තත්වයත්, නොදියුණු තාක්ෂණයත් කියලා. 18 වෙනි සියවසේ අග තිබුන තත්වයත් ( ඒ කාලේ අපේ ලංකාවේ බහුතරයකට කියවන්න වත් බෑ ),දැන් අපි ඉන්න ලෝකයේ තත්වයත් අතර තියෙන්නේ විශාල වෙනසක්. ඉතින් ඔයාලටත් තේරෙනවා හොඳ පොතකට උනත් මිනිස්සු අතරට යන්න අමාරුයි ඒ කාලයේ. )
ඩොයිල් මහත්තයා 1887දි හදපු මේ චරිතය 1893දි ඩොයිල් මහත්තයාම මරලා දාන තුරු ම ලන්ඩන් නගරයේ කේන්ද්‍ර කර ගනිමින් මුලු ලෝකයේම ජීවත් උනා. සූක්ෂම ආකාරයට මෙවන් කතා ගොතනකොට තමාගේ ගතත් සිතත් ඉතා විඩාවට පත් වෙනවා, ඒ නිසා ඉන් මෙදීමටත් ; මේ සඳහා කැප කරන කාලය මීටත් වඩා ප්‍රයෝජනවත් දෙයකට යොදවන්න උවමනා බවත් නිදහසට කරුණු ලෙස දක්වමින් තමා ඩොයිල් මහත්තයා මේ කෙටි කතා 56කිනුත් දීර්ඝ කතා 4කිනුත් යුතු හෝල්ම්ස්ගේ චරිත ඝාතනය සිදු කලේ.

මම කියන කාරණය හරියටම අවබෝධ කරගන්න ලේසි වෙන්න තමා මම ඔය ටික කිව්වේ.

ඔයාලා කාටවත් මතකද හෝල්ම්ස් ඉස්සෙල්ලා ම ලංකාවට ආපු හැටි එහෙම.
ලොකු මල්ලිට නම් ලාවට මතකයි, ඒ කියන්නේ මල්ලි බට්ටා කාලයේ හෙවත් 4 පංතියේ ඉන්න කාලේ තමා මල්ලිට මතක හැටියට ෂර්ලොක් හෝල්ම්ස් පොතක් සිංහලෙන් ආවේ. මනෝජ් රත්නායක තමා මල්ලිට මතක විදියට මුලින්ම ෂර්ලොක් හෝල්ම්ස් පොතක් පරිවර්තනය කලේ මල්පියලි ප්‍රකාශකයෝ යටතේ. පිටු 80යි, හෝල්ම්ස්ගේ වික්‍රම 10යි, රුපියල් 40යි. හිතාගන්න පුලුවම්නේ කොච්චර කෙටි කරලද කතා ටික පොතට එකතු කරලා තියෙන්නේ කියලා. ඒවා පොතුත් නෙමෙයි පොත් පිංචවල්. කොහොම හරි එයා පළ කරපු හෝල්ම්ස්ගේ පොත් පිංචවල් ටික ඒ කාලේ ටිකක් හිට් උනා. බිස්නස් එක ඉවෙන් වගේ තේරුණු ගුණසේන සමාගමත් කතා කීපයක් දාල තරමක් ලොකු පොතක් නිකුත් කලත් ගෙවන මිලේ හැටියට ඒකේ රසවත් භාවයක් නැති උන නිසා එච්චර හිට් උනේ නෑ. මේවාට අමතරව තව තව කට්ටිය ෂර්ලොක් හෝල්ම්ස්ගේ පොත් පරිවර්තනය කලත් ඒවාත් අසාර්ථක උනා.
අන්තිමේදි අසංෂිප්ත පරිවර්තනයක් විදියට හෝල්ම්ස්ගේ කතා ඉදිරිපත් කරපු චන්දන මෙන්ඩිස් වැඩේ අල්ලගත්තා.වැඩේ අල්ලගත්ත තරම කියනවා නම් හෝල්ම්ස්ගේ කතා හැටම මෙයා පරිවර්තනය කලා ( මුල් කතා වල කතා රසයට අවම හානියක් වෙන විදියට පරිවර්තනය කරපු නිසයි මේ පරිවර්තක මෙච්චර සාර්ථක උනේ ).
නමුත් ඩොයිල් මහත්තයා මවපු හෝල්ම්ස්ගේ චරිතය සැබෑවක් කරන්න චන්දන මෙන්ඩිස් උත්සාහ කරපු එක එයා කරපු ලොකු වැරැද්දක් කියලයි මල්ලිට හිතෙන්නේ. පොත් කියවපු අයට මතක ඇති දොස්තර වොට්සන් සමුළුවකට ලංකාවට ආපු වෙලාවක එයාට ඔහුව මුණගැසුන බවක් සඳහන් කරලා චන්දන මෙන්ඩිස් නටපු නාඩගමක තරම. හෝල්ම්ස් කියන්නේ ඩොයිල්ගේ ප්‍රබන්ධයක් කියල දැනගෙන හිටපු ඔයාලත් මේකෙන් ලොකු අවුලකට වැටෙන්න ඇති. හැබැයි අපිට එච්චර නොතේරුනාට මේකේ ලොකු අර්ථයක් තියෙනවා කියලයි මල්ලිට හිතෙන්නේ. ඒ කියන්නේ මුල් කථාව මේ විදියට විකෘති කිරීමෙන් චන්දන මෙන්ඩිස් උත්සාහ කලේ ඩොයිල්ගේ කතා මාලාව තමන්ගේ කරගන්න කියලයි මල්ලිට හිතෙන්නේ. අනික මේ වෙනකොට චන්දන මෙන්ඩිස්ගේ හොල්ම්ස් කතා කියවන පාඨකයන් විශාල පිරිසක් බිහිවෙලා හිටිය නිසා මෙම කතා මාලවට තමන්ගේ හුරුවක් දෙන්නට චන්දන මෙන්ඩිස්ට උවමනා වෙන්නට ඇති. සරළව කියනවා නම් ෂර්ලොක් හෝල්ම්ස් නම ඇසුනු විගස ඩොයිල්ගේ නම වෙනුවට චන්දන මෙන්ඩිස් කියන නම පාඨක මනසට ඇතුළත් කර ගැනීමේ ( පහත් ) ආශාවක් චන්දන මෙන්ඩිස් හට තිබ්බද කියලා පොඩි සැකයක් මල්ලිට තියෙනවා.
මල්ලි හිතන විදියට නම් සදාචාරසම්පන්න පරිවර්තකයෙක් නම් මේ විදියට කතා විකෘති කිරීමෙන් වළකින්න ඕන, අනික නීතිමය පැත්තෙන් ගත්තම මේක ලොකු වැරැද්දක්. මොකද ඩොයිල් මහත්තයාගෙන් අවසර අරගෙන නෙමෙයිනේ චන්දන මෙන්ඩිස් මේ කතා වෙනස් කරන්නේ.

ඊළඟට මල්ලිට තියෙන අවුල තමා හෝල්ම්ස්ගේ කතා 60න් චන්දන මෙන්ඩිස් නතර නොවුන එක. පරණ ට්‍රන්කා පෙට්ටියක තිබිලා දොස්තර වොට්සන් ලියපු හෝල්ම්ස් කතා තොගයක් අහම්බෙන් හමුවූ අකාරයක බොරු කතාවක් ගොඩනගමින් පෙර කතා වල තිබුන තාත්වික බව නැති කරමින් තමා මෙයා මේ කූට ව්‍යාපාරය පටන් ගත්තේ. සර් ආතර් ගේ ෂර්ලොක් හෝල්ම්ස් කතා සේරම අසංෂිප්තව පරිවර්තනය කරපු නිසා ඔහුගේ කතා නිර්මාණයේ අභාශය යම් තරමක් දුරට චන්දන මෙන්ඩිස් ට ලැබෙන්නට ඇති. ඒ නිසාම තමා මැරුණු හෝල්ම්ස්ගේ චරිතයට නැවත පණ දීලා හෝල්ම්ස්ගේ අළුත් කතා නිර්මාණය කරන්න චන්දන මෙන්ඩිස් පටන් ගන්න ඇත්තේ. කල දුටු කළ වළ ඉහගන් කියන තියරියට චන්දන මෙන්ඩිසුත් අනුගත උනා.( අනුන්ගේ පහනින් එළිය බලන එක ඉතින් බහුතර ශ්‍රී ලාංකිකයන්ගේ පහත් ලක්ෂණය නේ.)
මේ විදියට චන්දන මෙන්ඩිස් ව්‍යාජ හෝල්ම්ස් කතා පෙළක් නිර්මාණය කරලා ලාංකික පාඨකයන් ට හඳුන්වා දුන්නත් ඒවා පරණ හෝල්ම්ස්ගේ කතා තරම් ජනප්‍රිය උනේ නෑ. මොකද මුල් කතා පෙළෙහි තිබුන රසවත් භාවය මේවයේ ගැබ් වෙලා තිබුනේ නෑ.
අළුත උපන් හෝල්ම්ස් ගැටළු නිරාකරණය කලේ ඉතා සරළ හා බොළඳ ක්‍රම වලට වීමත්, පෙර මෙන් පාඨකයාගේ කුතුහළය කතාවවේ අවසානය දක්වා පවත්වාගත නොහැකි වීමත්, අළුත් හෝල්ම්ස්ගේ කතා තේරුමක් නැති විකාර කතා වීමත් නිසා හෝල්ම්ස් චරිතය ලාංකික පාඨකයන්ට තරමක් දුරට හෝ එපා කරවන්න චන්දන මෙන්ඩිස් සමත් උනා.
ඩොයිල් මහත්තයා අමරුවෙන්, පාඨක සිත් තුළ රැඳෙන හෝල්ම්ස් චරිතයක් නිර්මාණය කළත් ඒ චරිතය ලාංකික පාඨකයන්ගේ සිත් තුළ රඳවමින් කතා මාලාව අවසන් කරන්න බැරි උනා කියල තමයි මල්ලිට හිතෙන්නේ. ශ්‍රේෂ්ඨ කතුවරයෙක් විසින් පණ පොවපු මුළු ලොවක් විස්මිත කරපු හෝල්ම්ස් චරිතයට අවසානයේදි ලංකාවෙදි නම් අත් වෙන්නේ ඉතා ශෝචනීය ඉරණමක්. ලෝකයක් ආදරය කරපු චරිතයක් ලාංකික පාඨකයන්ට එපා කරවීම තරම් පවක් සිදු කරවන්නට චන්දන මෙන්ඩිස්ව පෙළඹවීමට තිබූ එකම හේතුව නම් හැම මිනිසෙක්ගේම හෙණයට සිටින අධික මුදල් ආශාව කියලයි මල්ලි හිතන්නේ.
සර් ආතර් කොනන් ඩොයිල් මහත්තයාට කරන්න පුළුවම් ලොකුම නිගාව ලංකාවේ මිනිහෙක් කළා කියන එක අපිට ආඩම්බර වෙන්න පුළුවම් දෙයක් නෙමෙයි. මේවා දකින්න ඩොයිල් පණ පිටින් හිටපු නැති එක එයාගේ වාසනාව කියලයි මල්ලිට හිතෙන්නේ.

කොහොම උනත් අන්තිමේදි සූර වීර ෂර්ලොක් හෝල්ම්ස්ටත් ලංකාවේ මිනිහෙක් ගේම දුන්නා කියලා විතරක් මතක තියාගන්න.
කවුරු කොහොම කිවත්, කොච්චර ලස්සන උනත් පරිස්සමින් ජීවත් වෙන්න ඕනේ රටක් තමා මේක.

ප.ලි -
චන්දන මෙන්ඩිස්ගේ වාණිජ අරමුණ වෙනුවෙන් ෂර්ලොක් හෝල්ම්ස් චරිතය භාවිතා කිරීමට එරෙහිව ඩොයිල් මහතාගේ බලවත් විරෝධය සහ කෝපය පෙන්වීම සඳහා ලොකු මල්ලී විසින් ලියන ලදී.